පෙත්ත මිස් උනොත් බඩුම තමා !!!!

 උපත්පාලන පෙති භාවිතය.


උපත්පාලනය ගැන ලිපි මාලාවේ කාන්තාවන් සදහම සුවිශේෂ වන තවත් එක් ලිපියක්.

ඩිම්භකෝශ වලින් ඩිම්බ මෝචනය වළක්වගන්න පුලුවන් වීම, ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වළක්වාලීම, ගර්භාෂ ඇතුළ් බිත්තියේ දරුවෙකු පිළිසිදගැනීම වැළැක්වීම කියන සාධක මත උපත්පාලන පෙති භාවිතය සිදු වෙනව. මෙහි හෝර්මෝන මාත්‍රාවන් සහිත පෙති 21ක් හා යකඩ අඩංගු පෙති 7ක් සහිතයි. පළමු පෙති වලින් ඩිම්බ මෝචනය වළක්වනව වගේම. ඩිම්බ රහිත ඔසප් වීමක් සිදු කරන්න මේකෙන් හේතු වෙනව. එතකොට යකඩ පෙති තියෙන්නෙ ඔසප් වීමේදි පිටවන රුධිරය නිසා සිදුවිය හැකි යකඩ ඌනතාවය වළක්වන්න.

ඉතින් මේ පෙතිවල අඩංගු ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් මාත්‍රාවන් වලින් FSH හා LH ස්‍රාවය වීම වළක්වන්න පුළුවන්. ඒ කියන්නෙ ඔබගේ ඩිම්භකෝශ තුළ මාසික චක්‍රයට අවශ්‍ය ඩිම්බයක් පරිණත වීම හෝ එවැනි ඩිම්බයක් පිට වීම සිදුවෙන්නෙ නෑ. ඊට අමතරව ගර්භාෂ ඇතුළු බිත්තිය අක්‍රිය වීම හා අධිරෝපණය නැවතීම ඒ කියන්නෙ සංසේචනය වුනු ඩිම්බයක් තැන්පත් වීම වැළක්වීම හා ගැබ්ගෙල ශ්ලේෂ්මල ශුක්‍රාණු ඇතුළු නොවන පරිදි සකස් වීම සිදු කිරීම මගින් උපත්පාලන පෙති වලින් මෙම ක්‍රියාව සිදු වෙනව.


භාවිතා කරන්න පුළුවන් කණ්ඩායම් විදියට,

1 විවාහයට පෙර ගැබ්ගැනීම වළක්වා ගැනීම සදහා. ඒ කියන්නෙ අපේ රටේ බහුල නැතත් වෙනත් රටවල විවහයට පෙර living together සංකල්පය තුළ දරුවෙක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන් ඉතින් ඒ වගේ අවස්ථාවක හෝ දැනටත් ඉතින් තරුණ ජෝඩු බදින්න කලින් මුකුත් කරල නෑ වෙන්න බෑනෙ. ඉතින් එවැනි අවස්ථාවන් වල ඉන්න යුවතියන්ට මෙම ක්‍රමය සුදුසුයි.

2 අළුත විවහ වුනු යුවළකට සිය ආර්ථිකය හා පසුබිම දරුවෙක් සදහ සුදුසු නැත්නම් හෝ තවත් කාලයක් නිදහසේ පෙම් සුව විදීමෙ අවශ්‍යතාවයක් ඇත්නම් හෝ යම් ප්‍රමාදයක් කිරීමට අවශ්‍ය නම් මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.

3 එක දරුවෙක් ලැබුනු පසු තවත් දරුවෙකු ලැබෙන තුරු අවශ්‍ය කාල පරාසය තීරණය කිරීමට මෙම ක්‍රමය සුදුසුයි.

කවදද පටන් ගන්න ඕනෙ,

1 ඔසප් වූ දින සිට පළමු දින 5ක් ඇතුළත

2 ස්වභාවික ගබ්සාවකින් පසු දින හතක් ඇතුළත

3 චක්‍රය ආරම්භ නොවූ අයට දරු ප්‍රසූතියකට මාස හයකට පසු

4 කිරි නොදෙන මව්වරුන් හෝ මළදරු උපතක් සිදුවීමෙන් කිරි දීමට නොහැකි මවුවරුන්  ප්‍රසූතියෙන් සති හතරකට පසු

පළමු පෙත්ත ලබා ගෙන ඉන්පසු ඊතල ඔස්සෙ දෛනිකව පිළිවෙළින් ලබා ගත යුතුයි. සෑම දිනකම නිශ්චිත වෙලාවකට ලබා ගන්නෙ නම් සුදුසුයි. ඒ වගේම එක පැකට් එකක් ඉවර වෙද්දි තව එකක් ලග තියාගන්න. එහෙම නැත්තම් හදිස්සියේ පෙත්ත අමතක වුනා කියාවි. ඔබ දැනටමත් දරුවන් සිටින මවක් නම් අනිවාර්යයෙන් මේ පෙති දරුවන්ට අහු නොවෙන්න තියන්නත් වගබලාගන්න.

භාවිතා නොකළ යුතු අය,

1 දරු ප්‍රසූතියකට සූදානම් වන හෝ ගැබිනි මව්වරුන්

2 දරු ප්‍රසූතියෙන් පසු මාස හයක් කිරි දෙන මව්වරුන්

3 කිරි නොදෙන මව්වරුන් මළදරු උපත් කළ මව්වරුන් පළමමු සති හතර තුළ ලබා නොගත යුතුයි

4 හෘද රෝග හා රුධිර සංසරණය ආශ්‍රිත රෝග සහිත කාන්තාවන්

5 සති දෙකකට වඩා එක්තැන්වී සිටීමට අවශ්‍ය ශල්‍යකර්මයන් සිදුකළ කාන්තාවන් හා පාද ආශ්‍රිත ශල්‍යකර්මයන්ට ලක් වූ කාන්තාවන්

6 ඉරුවාරදය සහිත කාන්තාවන්

7 පියයුරු පිළිකා තත්වයන් පෙර හෝ දැන් සහිත කාන්තාවන්

8 වසර 20කට වැඩි දියවැඩියාව පෙළෙන අය හෝ දියවැඩියාව ආශ්‍රිත සංකූලතාවයන් සහිත කාන්තාවන් (එනම් දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි ආබාධ, ස්නායු ආබාධ, රුධිර නාලිකාවල සංකූලතා හා වකුගඩු ආබාධ)

9 අක්මාව හෝ පිත්තාශයේ රෝගාබාධ සහිත කාන්තාවන්

අවාසිදායක තත්වයන් විදියට ගත්තොත් මේ ක්‍රමයෙන් සමහරුන්ට ලිංගික සංසර්ගයේ ආශාව අඩු වෙන්නත් පුලුවන්. ඊට අමතරව යම් පීඩනයක් සහිත පෙනුමක්, ඔක්කාරය හා අප්‍රිය ගතියක්, බර වැඩි වීමක්, පියයුරු වේදනාවක්, පියයුරු විශාල වීමක්, යෝනියෙන් රුධිරය පිටවීමක් ඇති වෙන්න පුළුවන්.

අනික ඉතින් හැමදාම ගන්නෙ නැත්තම් නම් මේකෙ පලක් නෑ. ඉතින් සමහර කාන්තාවන්ට මේක අමතක වෙනව එතකොට ඉතින් ඵලදායීතාව නම් අඩුයි. දවස් 28ක් ඉවර වෙද්දිම අලුත් පැකට් එකක් ලගට ඕනෙ. ඒක තවත් ප්‍රශ්නයක්. කිරිදෙන මව්වරුන්ට නම් සුදුසු නෑ. මොකද ඒකෙන් කිරි වල ගුණය හා ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්.

වාසිදායක අවස්ථාවන් විදියට ඉතින් අඩු මිලකට ඉක්මනින් ලබාගන්න පුලුවන්. මාසික චක්‍රය ක්‍රමවත් වීම හා ඔසප් වීමෙ වේදනාව හා පිටවන ප්‍රමාණය අවම වීම. ඩිම්භකෝශ හා ගර්භාෂ පිළිකා තත්වයන් අවම කිරීම වගේ කරුණු වැදගත්.

අනික් කාරණය තමයි පෙත්ත නවත්තලා ආයෙත් සරු බවක් ලබාගන්න පුලුවන් වීම.

එක පෙත්තක් හරි අමතක උනොත් මොකද කරන්නෙ,

එක පෙත්තක් අමතක වුනොත් නම් මතක් උනු වෙලාවෙම ඒ පෙත්ත අරන් ඉතුරු පෙති ටික සාමාන්‍ය විදියට කරන් යන්න පුලුවන්. එතකොට කිසිම ගැටළුවක් නැහැ.

නමුත් පෙති එකකට වඩා අමතක වුනොත්,


පළමු පේළියේ පෙති එකකට වඩා අමතක උනොත් නම් සංසර්ගයේදී දින 7ක් යනකන්ම කොන්ඩම් එකක් භාවිතා කරන්නම ඕනෙ. ඒක තමන්ගෙ අවශ්‍යතාවය අනුව කාන්තාව හෝ පුරුෂයා විසින් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන් හදිසි උපත්පාලන පෙති භාවිතා කරන්නත් වෙනව. ඒ කියන්නෙ prostino.

දෙවන පේළියෙ පෙත්තකට වඩා අමතක උනොත් නම් දින 7ක් කොන්ඩම් භාවිතය පමණක් ප්‍රමාණවත්.

නමුත් තුන්වන පේළියෙ පෙති එකකට වඩා අමතක වෙනවනම් ඊළග කාඩ් එක පාවිච්චියට ගන්න වෙනව.

හතරවෙනි පේළිය නම් යකඩ අඩංගු පෙති නිසා අමතකවීම උපත්පාලනයට නම් ගැටළුවක් නෙමෙයි.

ඉතින් තවත් ලිපියකින් හමුවෙමු.

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක


Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද