දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

දෙවියනි මම ගැහැනියක්  නොවේ ද 
කාන්තාරයේ කුසුම හෙළිදරව් කරනා වූ ආගමික හා භෞතිකවාදී කියමන්
 

Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට "කාන්තාරයේ කුසුම" නමින් පරිවර්තනය කරන ලද අතර Desert flower රචනා කරන්නේ වාරිස් ඩයිරි සහ කැත්ලින් මිලර් එක්වය.  මෙහි කතා නායිකාව වාරිස් ඩයිරි සෝමාලි ජාතික ප්‍රසිද්ධ සුරූපී මෝස්තර නිරූපිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක් හා නිළියක් ද වේ. ඇගේ කටුක දිවිය 1998 දී ප්‍රකාශයට පත් වන්නේ Desert flower යන නමිනි. 

ඔබ කාන්තාරයේ කුසුම කියවා ඇත්නම් ඇගේ කටුක ජීවිත කතාව පිළිබඳව මා නැවත නැවත විස්තර කළ යුතු නැත්තේය . 2009 වර්ෂයේ Desert flower චිත්‍රපටයට ද නැගේ .  වාරිස්ගේ කථාව ආරම්භ වනුයේ සෝමාලියා වෙනි. සෝමාලියානු භාෂාවෙන් වාරිස්  යන වචනයෙහි තේරුම කාන්තාරයේ පිපුණු කුසුම යනුවෙනි වචනයේ පරිසමාප්තියෙන්ම ඇය කාන්තාරය වැනි  කර්කශ දේශගුණයක් සහිත පරිසරයක පිපුණු සුවඳ හමන කුසුමකි.


වාරිස් උපත ලබන්නේ සෝමාලියාවේ ඉතියෝපියාවට මායිම් ව  පිහිටි කාන්තාරයේ ප්‍රදේශයක එඬේර පවුලකට දාව ය. ඇගේ පියාගේ උරුමය එයයි . උපතින් ඇයට උරුම වන්නේ අධික දරිද්‍රතාවයත්  නූගත් කමත්ය .  විශේෂයෙන් පුරුෂ මූලික සමාජයක ඇයට ජීවත් වීමට සිදු වේ.  වාරිසගේ පියා ඒ පුරුෂ මූලික සමාජ භූමිකාව ඉටු කළ ද ඉලෙක්‍ට්‍රා  සංකීර්ණයේ අඩුවක් නම් එහි නොවීය. වාරිස්ගේ පියා තම දියණියන් කුමාරිකාවන්ට සමාන කළේය. සත්‍ය ලෙස කුමාරිකාවන් නොවුණද කුමාරිකාවන් සේ ඔහු තම දියණිවරුන් රැක ගත්තේය . නමුත් ඔහුට පුරුෂ මූලික භූමිකාවෙන් උරුම කර දුන් ඒකාකෘතියෙන් මිදීමට නොහැකි විය .

ඒ වූ පීතෘ මූලික සමාජයේ ජීවත්වන වාරිස්ගේ මව තම වැදූ දරුවන් දොළොස සමග කාන්තාරය තුළ ඉතා කටුක දිවියක් ගත කරන්නීය. ඇයට නම් කාන්තාරය උපතින් උරුම නැත. ආදරය නමැති සැඩ සුළඟ විසින් ඇයව තම ස්වාමියාගේ සම්ප්‍රදාය අනුව කාන්තාරයට ඇදගෙන විත් ඇත. 
වාරිස්ට කුඩා කල සිට පැරණි ගෝත්‍රික සම්ප්‍රදායට අනුව ජීවත් වීමට සිදු විය.  උපතින් ඇය මවට හා පියාට අනුව ඉස්ලාම් ආගමට අයත් විය කුඩා දැරියක කාලයක සිට ඇයගේ  වයසටවත් ඔරොත්තු නොදෙන තරමේ වැඩ රාජකාරි ඇයට පැවරී තිබිණි. එනම් බැටළුවන් ගාල් කිරීම ජලය සොයා යාම තම සහෝදර සහෝදරියන් බලා ගැනීම වැනි කාර්යයන්ය . නමුත් ඇයට තම කාර්යයට සරිලන ආකාරයේ අවම වශයෙන් වේලකට සරිලන අහරක්වත්  නොලැබුණි . ඇතැම් දවස්වල දී කාන්තාරයේ ශුෂ්ක බව නිසාම දවස් කිහිපයක් කුසගින්නේ සිටීමට පවා වාරිස් හා වාරිස් ගේ පවුලට පුරුදුය .

මේ ශුෂ්ක බව ඇයට උරුම වුව ද ඇය ඒවා විඳ දැරිමට  පුරුදු විය . නමුත් අමානුෂික චාරිත්‍රයක් ඇයට උරුම බව ඇය නොදත්තාය. ඇයගේ ගෝත්‍රයෙන් පැවත එන චාරිත්‍රයක් ලෙස ඇය ඉදිරියට එන ස්ත්‍රී චර්මඡේදනයට ලක් වීමට ඇයට  සිදු වන්නේ කුඩා කාලයේ දී ම ය . ඇගේ ජීවිත පෙරළිය ඉන් නොනැවතී  අවුරුදු 13ක පමණ වෙන විට ඇගේ පියා විසින් අවුරුදු 60ක පමණ මහලු පුරුෂයෙකුට ඇය විවාහ කර දීමට තීරණය කරනු ලබයි. ඒ ඔටුවන් පස්දෙනෙකුට ය. කාන්තාරයේ ජීවත්වන්නවුන් ඔටුවන්ගේ ප්‍රයෝජන පිළිබඳව ඉතා හොඳින් දනියි. ඇයගේ ගෝත්‍රයේන්  හෝ  ආගමෙන් උරුම වූ ලෙස ඇයට මේ මිනිසා සරණ  පාවා ගැනීමට  සිදු වේ. නමුත් ඇය ඇගේ සීමාවන් බිඳ දමා පවතින ක්‍රමය බිද දමා යැමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට  මෙය අවස්ථාවක් කර ගන්නීය. ඒ අනුව ඇය තම මවගේ ද සහය ඇතිව ඇගේ නැන්දා කෙනෙකු සිටින එරට අගනුවර වන මොගඩිෂු වල වලට පැන යන්නීය. අහෝ ! අසරණ වාරිස්  මොගඩිෂූ වලට යන ගමනේදී නොයෙක් අතවරයන්ට මුහුණ දීමට ඇයට  සිදු විය. නමුත් ඒ හැමකින්ම ඇය බේරී පලා  යන්නේ සිංහයෙකුට හසුවන්නට යන මුව පැටියෙකු දිව යන්නා සේ ය .  කෙසේ හෝ ඇයගේ වාසනාවේ දොරටු කටුක ලෙස වුවද හැරෙමින් පැවතිණි. ඇයට ලන්ඩනයේ තම මාමාගේ නිවසට යෑමට  අවස්ථාව හිමි වන්නීය. ඒ එවකට ලන්ඩනයේ තානාපති ධුරය දැරූ තම මාමාගේ නිවසේ වැඩකාරිය ලෙසය . එහි සිට ඉංග්‍රීසි වචන එකින් එක කෙසේ හෝ ගලපා ගනිමින් මෙහෙකාරියක ලෙස කාන්තාරයේ කටුක ජීවිතයෙන් මිදී ජීවිතය ගත කළාය. වසර හතරක  මාමාගේ ධුර කාලය අවසන් විමත් සමග වාරීස් නීති විරෝධී ලෙස එංගලන්තයේ සැඟව ජීවත් වීමට පටන් ගනී. ඇයට සෝමාලියාවට නොයන්නට ඇයට දහසක් හේතු ඇත්තේය. නමුත් එංගලන්තයේ සිටීම ඇයට යහපතක් යැයි අනිවාර්ය ලෙස සිතෙන්නට ඇත . ඇය දැන් නීති විරෝධී සංක්‍රමණිකයෙක්  වී හමාරය. ඇයට ලන්ඩනයේ මැක්ඩොනල්ඩ්හී සේවය කිරීමට අවස්ථාව හිමි වූයේ ඇය නීති විරෝධී සංක්‍රමණිකයෙක් වීම නිසාමය .මන්දයත් එකල නීති විරෝධී සංක්‍රමණිකයන් අඩු මුදලට සේවය යෙදවීමේ කටයුත්ත පහසු විය. මෙලෙස ශ්‍රම සූරා කෑමකට ඇයට නොදැනුවත්වම ලක්වීමට ඇයට සිදු වන්නීය .

ජීවිතයේ යම් යම් දේවල් සිදුවන්නේ යම් හේතුවක් නිසා ය. සැබෑය, වාරිස්ගේ  සිය ජීවිතය කනපිට පෙරලෙන්නේ මෙහිදීය මැල්කම් ෆෙයාර්චයිල්ඩ් නම්  ඡායාරූප ශිල්පියාට ඇයව  හමුවේ. ඔහු ඇගේ ඡායාරූපයක් ගැනීමට ඇගේ නැන්දාගෙන් අවසරය පැතුව ද එයට අවසර හිමි නොවේ. ඇය ඒ පිළිබඳව දන්නේවත් නැත පසුව තානාපති  නිවසින් ඉවත් වූ පසු වාරිස් ඡායාරූප ශිල්පියා හමුවී ඡායාරූපයක් ගැනීමට එකඟ වෙයි. ඉන්පසු  ඡායාරූප ශිල්පී ටෙරන්ස් ඩොනොවන්ගේ ඇසට වාරීස්ව හසු වේ. වාරිස්ගේ සංස්කෘතිය විසින් ඇයට උරුම කර දුන් ඒකාකෘතිය නිසාම ඇය මුලදී යම් කිසි පැකිලීමක් කළ ද ඇය පසුව එදා කාන්තාරයෙන් පැන ආ ලෙසටම තම සම්ප්‍රදාය බිඳ දමා ඔහුගේ ඡායාරූප වලට පෙනී සිටීමට තීරණය කරයි.  එම ජායාරූප ඉතාමත් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇය නිරූපණ ක්ෂේත්‍රයට පා තබන්නීය . ඇයට chanel, levis , loreal සහ revlon වැනි ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම  සඳහා වෙළඳ දැන්වීම් වලට පවා පෙනී සිටීමට වාසනාව හිමි විය .මේ ආකාරයට 1997 වන විට ඇය තවත් දුක්ඛිත මතක ගොන්නක් සමග වුවද නිරූපණ ක්ෂේත්‍රයේ උච්චතම අවස්ථාවට ඒමට හැකි විය. මේ අවධියේ දී ඇය විසින් ඇයට මුහුණ දීමට සිදු වූ අමානුෂික ලිංගික හිංසනය පිළිබඳ ලොවට ප්‍රසිද්ධියේ හෙළි කළා ය . එතැන් පටන් ඇය  ස්ත්‍රීන් චර්මඡේදනය කිරීමට විරුද්ධව දැඩි ලෙස හඬක් නැගූ අතර ඇයව එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු වශයෙන් ද පත් කලාය.

ඇය ඇයගේ ජීවිත කතාව මෙලෙස කාන්තාරයේ කුසුම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වයි . ඇයට මේ සියලු දේ උරුම වූයේ උපතින් ඈ කාන්තාරයේ ඉපදීම නිසාය . ඇය තමන් කාන්තාරයේ ඉපදීම ගැන දොස් නගන්නේ නැත 


“ කාන්තාවක් වීම පිළිබදව  මා කුමක් දැන සිටියේ ද අපිකානු කතක් වීම පිළිබඳව නම් මා බොහෝ දේ දැන සිටියා. වේදනාව තුරුළු කරගෙන නිශ්ශබ්දව කුඩා දරුවෙකු මෙන් ඒ සියල්ල විඳ දරාගෙන ජීවත් වීමට මා දැන සිටියා “

ජීවිතයේ එක් කාලයක තමන් ඒ තරම් දුක් ගැහැට විඳ ද කෙතරම් කුසගින්නේ සිටිය ද කුමන දුෂ්කරතා ඇය වින්දද  ඇයට ඒවායින් අයහපත අත්කර දුන්නේ නැත. ඇයට තමා තුළ නිරායාසයෙන්ම පවතින උණුසුම් ස්වභාවය, පවුලේ බැඳීම ,සාමාජීය බැඳීම මෙන්ම  විශේෂයෙන් ම තමා ද ස්වභාව ධර්මයේ ම කොටස්කාරයෙක් සේ දැනෙන හැඟීම සත්ව කරුණාව හා නිහතමානී සතුටු වීම් වැනි දෑ ඈ හට උරුම වූයේ මේ අප්‍රිකානු සම්භවය නිසාම බැව් ඈ ප්‍රකාශ කරන්නීය . ඇය ඇගේ අතීතය භාරගන්නා අතර එයට ශාප කරමින් නොසිටිම තුලින් ඇයගේ නිහතමානී බව පෙන්නුම් කෙරේ.

මිනිසා උපතේදීම යම් ලේබල් කිරීමකට ලක් වේ . ඒ මුලින්ම ආගම ජාතිය යන ලේබලය මගිනි . එමෙන්ම යම් ඒකාකෘතියකට යටත් වී  කෙනෙකු උපත ලබන්නේය. ආගමික පැතිකඩ බැලූ විට ආගමක් යනු සෑම විටම  මිනිසාගේ යහපත උදෙසා විය යුත්තක් සේ ම මිනිසාගේ අධ්‍යාත්මික පැතිකඩ දියුණු කරලීමට  සහය වන්නකි . එමෙන්ම  වර්තමානය දක්වා ලොව සියළු ආගම් ගත් කල එහි මුල් ශාස්තෘවරු දැක් වූ අදහස් දර්ශනයන් කාලයෙන් කාලයට වාසිදායක ලෙස යම් යම් අධිපතීන් යටතේ විකාශය වී ආ බව, දැඩි ආගමික භක්තිකයෙකු නොපිළිගැනීමට පුළුවන. මිනිසුන් ජීවත්වන සංස්කෘතිය සමාජ වටපිටාව සිතුවිලි විවිධ ගෝත්‍ර වල පැවැති චාරිත්‍ර වාරිත්‍ර ආදිය ද ආගම් සමග මුසු වී මුසු වී ඇති බව හොඳින් අධ්‍යනය කරන්නෙකුට වැටහේ,  මේ නිසාම ඔබට කනට හුරු වචනයක් වන අන්තගාමි ආගමික කොටස් ලොව නන් දෙසින් වාර්තා වේ.ඉහත කී ආකාරයට ආගමික වෙනස්කම් විවේචනය කරන කවරෙකුට වුවද කුමන ආගමක වුවද යහපත් කල්ක්‍රියා නම් අත් නොවේ. තස්ලිමා නස්රීන් වැන්නන්ට තම නිජභූමිය පවා අතහැර යාමට සිදුවන්නේ මේ තමන් අදහන ආගම නිසාමය. බුදුන්ගේ රස්තියාදුව වැනි පොත් තහනමට ලක්වන්නේ ද ඩාවින්චි කෝඩ් වැනි ග්‍රන්ථ ඇතැම් රටවල තහනමට ලක් වන්නේ ද එකී ආගමික නායකයන්ගේ ඒකාකෘති වලින් ඔහුන් යම් කිසි රාමුවකට කොටු කර ඇති නිසා ම ය .


වාරිස් උපතින්ම ඉස්ලාම් ආගමිකයෙකි. කාන්තාරයේ කුසුම කෘතියේ පසුබිම ගත් කල ඉස්ලාම් ආගමික සන්දර්භයක් කෘතිය පුරාවටම පවතී . සත්‍යයෙන්ම ඉස්ලාම් ධර්මයේ ඉතිහාසික වර්ධනය තුළම  කාන්තාවට ලබා දී ඇති ස්ථානය පිළිබඳව යම් යම්  මතවාදයන් පවතින්නේය .කුරානය බොහෝ තැන්වලදී අව්‍යාජව කාන්තාව සම්බන්ධයෙන් මත පළ කර ඇති බව හඳුනාගත හැකි වුවත් ඉතාමත් සුළු අවස්ථාවන් කීපයක දී පමණක්  අතිශයෝක්තියෙන් යුතුව ස්ත්‍රිය පහත හෙළා ඇත්තේය . එය එසේ වූයේ සංස්කෘතික පරිසරයක බලපෑම නිසා විය යුතුය. මන්දයත්  සමාන්තර කාල කාලසීමාවක බිහිවූ බයිබලීය මත සමඟ අල් කුරාණයේ මත හරස් ව සිටින්නට උවමනා වූ බව කියැවේ .

ඉස්ලාම් ධර්මය ගත් කල  කුරාණයේ පවතින විග්‍රහයන් විවිධ සංස්කෘතීන් තුළ විවිධ ආකාරයට වෙනස් හැඩයක් ගන්නා බව පෙනෙන්නේය. උදාහරණයක් ලෙස ඉස්ලාමීය ප්‍රතිපත්ති මැදපෙරදිග ක්‍රියාත්මක වන ආකාරයටම ලංකාවේ හෝ ඉන්දියාවේ ක්‍රියාත්මක නොවේ. ඊටත් වඩා වෙනස් ආකාරයකට එංගලන්තයේ ක්‍රියාත්මක වේ. මැදපෙරදිග පවා රටින් රටට මෙය වෙනස් ය . කාන්තාරයේ කුසුම ඊට හොඳම නිදර්ශන සපයයි .වාරිස් ලන්ඩනයේ තම නැන්දාගේ නිවසට ගිය පසු සිදු වූ සිදුවීම් වලින් එය වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වා ගත හැකිය.  නමුත් ඉස්ලාමීය ධර්මය තුළ කාන්තාවට ලබාදී ඇති ස්ථානය ගැන  ඉස්ලාම් ස්ත්‍රීන් විසින් ම සාධාරණීය කරගෙන ඇත්තේය. වාරිස් තම නැන්දාට තමාට නිරූපිකාවක් වීමේ ආශාව පැවසීමේදී නැන්දා ඊට ලබා දුන් පිළිතුරත් නැන්දාගෙ මිතුරියකගේ දියණිය වන ඉමාන් හට ඒ සඳහා නිදහස හිමි වීමත් මෙහිදී  දැඩි ලෙස ප්‍රශ්නකාරී වේ .

“ අපි සෝමාලි ජාතිකයන් වශයෙන් සහ මුස්ලිම් භක්තිකයන් හැටියට ඔය වගේ දේවල් අපට සුදුසු නැහැ" දිනක් නැන්දා මට කීවාය කීවා ය. එහෙත් නැන්දාගෙ සමීප මිතුරියකගේ  දියණිය ඉමාන් වෘත්තිය මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කිරීම ගැන ඇය කිසිම විරෝධතාවක් නොදැක්වූවාය.”

නැන්දගේ මේ දෙබිඩි පිළිතුර වාරිස් තුළ විතර්කයක් ගොඩ නැගීමට සමත් විය .ඉස්ලාම් ධර්මයේ කාන්තාවට ලබා දුන් ස්ථානය ද  පෙර කී ලෙස සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නා බව පෙනේ කුරාණයේ අන්තර්ගත කාන්තා ප්‍රතිරූපය සංස්කෘතිය අනුව වෙනස් වී ඇත. ඒ බව නැවත නැවතත් කාන්තාරයේ කුසුම උදාහරණ දක්වයි. ඉස්ලාම් ධර්මය මේ සංස්කෘතික සාධකය  සමග මුසු වීම එක අතකින් මාක්ස්වාදීන් විස්තර කරන  නිෂ්පාදන මාදිලි සංකල්පයට සමාන යැයි සිතෙයි. එනම් සංස්කෘතිය හා ආගම විසින් මිනිසාගේ ශ්‍රමය විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශ්‍රමය සූරා කනු ලබයි . ඒ ශ්‍රමය සැලසුම් කරනු ලබයි.
මාක්ස් විසින් "ආගම මිනිසාගේ අබිං" යනුවෙන් ප්‍රකාශ කරන්නේද ඉහත කාරණය නිසාමය. මන්දයත්  ආගම සදාචාරය මුවාවෙන් බොහෝ විට මිනිසා බැඳ තබන අතර එය එක් අතකින් පරිපාලනයට පහසු කාරණයකි. පවත්නා සමාජ රටාව තුළ පාලක පක්ෂය විසින් පාලිතයන් පාලනය කිරීම සඳහා ආයුධයක් ලෙස ආගම යොදා ගන්නා බව පවසන මාක්ස්වාදීන් විසින් ආගමික මත වාද සමාජයට අහිතකර බව පවසන්නේය .
පෙර නිදසුන් ගත් කල  කාන්තාරයේ කුසුම ඒ බව නැවත නැවතත් සනාථ කරමින් සිටින්නේය. සංස්කෘතිය තුළ වූ හෝ සමාජයෙන් උරුම වූ ආගමික සංකල්පය තුළින් නොදැනුවත්වම අතිවිශාල  ජනකායක් පාලනය වෙමින් ඔවුන්ගේ නිදහස අහිමි කරගනිමින් කටයුතු කරනු ලබන්නේ ය. ඔවුන්ගේ චින්තනය යම් රාමුවකට කොටු කර ඇත්තේය. බඩගින්නේ සිටියද ඔවුන් එය ආගමික සංකල්පයට බැහැර කර සිටින්නේ ඒ නිසාමය. ඔහුනට කාන්තාරයෙන් මිදී නගරයට ගොස් හොඳින් සිටිය හැකි නොවේද? නමුත් ඔවුන් සිර කර බැද තබා ඇති අදෘශ්‍යමානයන්  බොහෝය. එතැන් පටන් ඉදිරියටත් පවතින සමාජ ක්‍රමය තුළ ඉත්තන් වී සිටීමටත්,  වාරිස් වැන්නන්ට කාන්තාරයේ කුසුමක්ව එහිම  සුවඳ හමන්නටත්  සිදුවනු ඇත්තේය.

"ආගමක් යනු තම තමන්ගේ පෞද්ගලික තෝරා ගැනීමකි. විමුක්තිය සොයා ගැනීම සඳහා අප කිසියම් ආගමකට යටත්ව හෝ අයත් ව සිටිය යුතු වේ. අප හැම දෙනා වෙතම දිව්‍යමය ශක්තිය සම්බන්ධ ව පවතී. "  යනුවෙන් මේරි බ්‍රවුන් සඳහන් කරන්නීය මෙහිදී ඉස්ලාමීය කාන්තාව කුමන විමුක්තියක් සොයා යන්නේ ද යන්න ගැටලුවකි .

ඉස්ලාමය තුළ කාන්තාව යම් රාමුවකට කොටු වූ චරිතයකි. ඉස්ලාමීය කාන්තාවගේ දුෂ්ටිවාදය ද එසේමය ඉස්ලාම් ධර්මයෙහි යම් යම් මත දැක්වීම අනුව පුරුෂ මූලික සමාජය ඉස්ලාමීය කාන්තාව සිර කර ඇත්තේය. නමුත් ඉස්ලාම් කාන්තාව එය තමනට ලැබුණු වරප්‍රසාදයක් ලෙස බාරගෙන තිබේ . “එම කාරණය ගැන පරීක්ෂණ පැවැත්වූ පැට්‍රීසියා ජෙෆ්‍රි  පෙන්වා දෙන ආකාරයට පීර්සාඩා  වල සේවය කළ කාන්තාවන් මුවා වීමේ තීරය සාධාරණීයකරණය කොට ඇත”
මේ මුවාවීමේ තීරය නම්, යථාර්තය පිලි නොගෙන, එය වරප්‍රසාදයක්  ලෙස පිළිගෙන යම් විශේෂීකරණයක් තුළින් තම පීඩනයන් ආගමික භක්තිය දෙසට ප්‍රක්ෂේපණය කිරීමයි.
"ඔබ ඉපද ඇත්තේ නිදහස වශයෙනි සිදුව ඇත්තේ එය අමතක කර ලීම සඳහා ඔබ තත්වාරෝපණය කොට තිබීමයි ." යනුවෙන් ඕෂෝ ද ප්‍රකාශ කරන්නේය. මෙහිදී විකෘති වූ ඉස්ලාමය දෙසට දෑත දිගු කිරීම සාධාරණීය යි සිතේ. එමෙන්ම එම අදහස ඉදිරියේ ලොව සියලු ආගම් නිහඬය.


ගොබෙල්ස් නියාය අනුව කාන්තාවට ඉස්ලාමය තුළ හිමි වූ ස්ථානය අවසානයේ දී ඉස්ලාමීය කාන්තාව දොහොත් මුදුන් දී පිළිගෙන ඇත . ලන්ඩනයේ වාරිස්ගේ නැන්දා සහ වාරිස් අතර තිබෙන ගැටුමේ දී ඒ බව නිතර නිතර ඉස්මතු වෙයි .කාන්තාරයේ කුසුම සැබෑ ජීවිත කතාවක් හෙයින් මෙය මනංකල්පිත හෝ ප්‍රබන්ධයක් යැයි කීමට ද නොහැක.  වාරිස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය, මැල්කම් ෆ්‍රෙයාර්චයිල්ඩ්  ඡායාරූප ශිල්පියාට අවුරුදු දෙකක් පමණ වාරිස්ගේ ඡායාරූපයක් ගැනීම සඳහා බලා සිටින්නට සිදු වන්නේ ඒ නිසාමය. වාරිස්ගේ නැන්දා පළමුව ඇගේ ඡායාරූපයක් ගැනීමට එන මැල්කම්ව හරවා යවන්නේ ඇය ඉහත මා සඳහන් කළ ඉස්ලාම් කාන්තාව එල්බගෙන සිටින රාමුගත ජිවිකාවේ කොටසක් එළිදක්වමිනි.

 “ මන් දන්නෑ කවුද මිනිහෙක්.... ඒ මිනිහට ඔයාගේ පින්තූරයක් ගන්ඩ උවමනා ලු, ඒ හින්දා ඔයත් එක්ක ඒ ගැන කතා කරගන්න ආවා කියලා කිව්වේ..... විකාර! ඇය මා දෙස තීව්‍ර බැල්මක් හෙලමින් කීවාය  “ 

එමෙන් ම ඉස්ලාම් ධර්මයේ ස්ත්‍රියට ලබාදී ඇති ලිංගික නිදහස ගැන ද කතිකා කළ යුත්තේය මෙයද පෙර කී ලෙස සංස්කෘතික සන්දර්භය තුළ වෙනස් වී ඇත්තේය. කුරාණය තුළ යම් විටෙක කාන්තාවට සමාන තැනක් දීමට උත්සාහ කර ඇති අතර බලහත්කාරය ප්‍රතික්ෂේප කර ඇත්තේ ය .

“  එම්බල විශ්වාස කරන අයවලුනි  , ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ස්ත්‍රීන් අයිතිකර අයිති කර ගැනීමට ඔබට අනුමත නැත  “  
( ශු.අල්කුරාන් : සුරාව : 4 ;19  )


ඇතැම් විචාරකයන් පවසන්නේ මෙහිදී පුරුෂාධිපත්‍යයක් ද මතු වී තිබෙන බවයි. එනම් යමෙකුට යටත්ව කාන්තාව සිටිය යුතු යැයි යුතු යැයි හැඟවෙන බවද ඇතැම්හු විස්තර කරති. කාන්තාරයේ කුසුම දෙස බැලූ කල ඇයට බලහත්කාරකම් වලට කුඩා කල සිටම මුහුණ දීමට සිදුවිය.  තම පියාගේ මිතුරෙකු වූ ගුබාන් අතින් අතවරයට පත්වන ඇයට නැවත ඇය නිවසින් පලා ආ විට ලොරි රථ රියදුරා සහ තම මාමාගේ නිවස සොයා ගැනීමේදී වෙළඳපොලේ හමු වූ මිනිසා වැනි  කෲර ලෙස සැලකූ පුද්ගලයන් හමු වේ . මෙහිදී නැවත ලන්ඩනයේ සන්දර්භය දෙස අවධානය යොමු කළ විට වාරිස් හට හජ්ජි විසින් අතවර කිරීමට යන උත්සාහය තුළ ද නැන්දගේ හැසිරීම යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු කරයි. කාන්තාරයේ දී නම් තම දියණියට අතවර කළ පුද්ගලයා සොයා ගොස් මාරාන්තික සටනකින් පසු ගෙදර ආ වාරිස් ගේ පියා මෙහිදී පසක් කළ යුතුය. ඇයට මෙම අතවරය වන විට ඇගේ පියා ඈ ළඟ නොමැත . හජ්ජි හට වාරිස් පහර දී එම සිද්ධිය ඒ මොහොතේ වළක්වා ගත් අතර  හජ්ජිට එරෙහිව ඇගේ නැන්දා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තා ය .මේ තුළ මතභේදාත්මක අයුරින් ආගමික පරිසරය හා සාමාජීය පසුබිම ද ඍජු ලෙස ඝට්ටනයට ලක් වේ .

“  නැන්දේ හජ්ජි කාමරේට ආවා... ඊයේ රෑත් ආවා.. මට කරදර කරන්න හැදුවා ඉතින් මම ගැහුවා   “  
“    මීට පස්සෙ පස්සේ මේ වගේ දෙයක් අහන්න ඉඩ තියන්න එපා දැන් ඔක්කොම කාමර වලට ගිහිල්ලා නිදා ගන්න එකයි ඇත්තේ ඇය දැඩි ස්වරයෙන් කියා සිටියාය.... “

පිරිමියාට දඬුවම හිමිවනවාට වඩා කාන්තාව එම වරද සිදු කළා නම් මීට වඩා එය දරුණු වනු ඇත .  
ඉස්ලාම් ධර්මය අප්‍රිකාව තුල කෙතරම් විකෘති ලෙස අර්ථකථනය වන්නේ ද යන්න කාන්තාරයේ කුසුම කදිම නිදසුන් සපයයි. විවාහය යන කාරණය සහ චර්මඡේදනය යන කාරණය තුලින් එය විස්තර කළ හැකිය.

අප්‍රිකානු සමාජයේ තිබූ යම් යම් ක්‍රියාකාරකම් යම් යම් ගෝත්‍ර කණ්ඩායම් තුළ තිබූ උප සංස්කෘති ආදිය ආගමික පිළිවෙත් සමග මුසු වන්නට ඇත යනුවෙන් කාර්මෝඩි විද්වතුන් දෙදෙනාගෙ මතයයි. මේ නිසාම අප්‍රිකානු ඉස්ලාම් ජාතිකයන් අතර පවතින භගමණි අපෝනොදය වැනි චාරිත්‍රයක් තවත් රටක දක්නට නොලැබේ. කාන්තාරයේ කුසුමේ එන වාරිස්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වන්නීය .ඇය ලන්ඩනයේ ජීවත්ව  සිටියදී තමනට  සිදුවූ අමානුෂික ක්‍රියාකාරකම පිළිබඳව මහත් සේ වේදනාවට පත් වේ .

“ අප්‍රිකානු සංස්කෘතියේ අංගයක් වශයෙන් වසර හාරදාහක් පුරා අප්‍රිකානු ගැහැනුන් මෙම සැහැසි ක්‍රියාවට නතු කර ඇත කුරානයේ මෙම ක්‍රියාව යුක්ති සහගත  කර ඇති බැව් බොහෝමයක් මුස්ලිම් ජාතිකයෝ  විශ්වාස කරති . දෙවියන් සතුටු කිරීම සඳහා ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස්  සුන්නත් කළ යුතු බව කුරාණයේ හෝ බයිබලයේ හෝ කිසිම තැනක සඳහන් වී නොමැති අතර  මෙය ආත්මාර්ථකාමී මෙන්ම අන්තගාමී මිනිසුන් විසින් ගැහැනිය මත සිය ලිංගික ආධිපත්‍යය සහතික කර ගැනීම සඳහා සකසා ගත් ක්‍රියාවකි. සුන්නත් නොකල තරුණියක් සමඟ විවාහ වීම ඔවුන් ප්‍රතික්ෂේප කරති. එහෙයින් මෙම වාතාවරණය  තුල මව්වරුන්ට සිය දියණියන් විවාහ කර දීමට නොහැකි වේ යැයි යන බිය නිසා ඔවුන් ඒ සැහැසි ක්‍රියාවට පෙළඹෙති ජනනේද්‍ර කොටස් සුන්නත් නොකල ගැහැනියක් කාමුක සහ අපිරිසිදු බැවින් විවාහයට සුදුසු නොමැති බැව් සලකනු ලැබේ   “


මේ ආකාරයට ඇය තම අදහස් ප්‍රකාශ කරන්නීය. සත්‍ය වශයෙන්ම සුන්නත් කිරීම සම්බන්ධ කාරණාව ගැන කතිකාවේදී කාන්තාවන් සුන්නත් කිරීමක් පිළිබඳව කුරානය කිසිදු තැනක සඳහන් නොකරයි. පෙරකී ආකාරයට කන්තාවන් සුන්නත් කිරිම යම් ගෝතික චාරිත්‍රයක් ලෙස පැවත විත් ඉස්ලාමීය ධර්මය සමඟ මුසුවී ඇත්තේය.  නමුදු පුරුෂ චර්මඡේදනය පිළිබඳ  "හදීත්" වල සඳහන් වේ. ඒ තුළින් මුස්ලිම්වරුන්ගේ ලිංග ඡේදනය යම් සාධාරණීයකරණයක  යෙදෙන්නට ඇතැම්හු උත්සාහ ගන්නේ ය .ඒ පුරුෂ මූලික සමාජයක පුරුෂයන්ට අවැසි ලෙස ය .එය ආගමික වශයෙන් ද ඔවුන් අර්ථ දක්වාගෙන ඇත.

ඉහත කී ආකාරයට මෙය මුස්ලිම් කාන්තාවන් අතර පමණක් තිබෙන්නා බව කීම වැරදිය අප්‍රිකාවේ ඇතැම් ක්‍රිස්තියානි භක්තිකයන් අතර ද  මේ මිලේච්ඡ ක්‍රියාව පැතිරී තිබේ. මෙය ආගමික ගිණුමකට දමනවාට වඩා එය පුරුෂ මූලික සමාජයක ඇති වූ අතිශය කුරිරු අමානුෂික විකෘතියක් ලෙස අර්ථ දැක්විය හැක්කේය. මන්දයත් පුරුෂයා සෑම විටම පිරිසිදු කාන්තාවන් පතයි කුඩා කලම ලින්ගේන්ද්‍රයේ යම් යම් කොටස් කපා දමා වසා වැසූ පසු නැවත එය විවෘත කරන්නේ විවාහක පුරුෂයා සමඟ සංවාසයේ යෙදෙන විට ය. එය ද පිහියක් වැනි තියුණු ආයුධයකින් හෝ තමාගේම ශක්තියෙනි . මෙහිදී ඉස්ලාමීය කාන්තාවන් වැඩිම දෙනෙක් මෙම චාරිත්‍රයට ගොදුරු වීමට ඉස්ලාම් ධර්මයේ විවිධ අර්ථකථනයන් ද ඔවුනට යම් යම් උත්ප්‍රේරකයක් සපයන්නට ඇත. අල් කුරාන්යේ ගැහැනිය පුරුෂයාට යටත් බව එනම් පුරුෂයාට මූලිකත්වයක් දෙමින් කෙරූ අර්ථකථනයන් එහිදී ඉවහල් වන්නට ඇත. මෙය බයිබලයේ ද යම් තරමකින් දැකිය හැකි ලක්ෂණයකි. 

“ එම්බල මනුෂ්‍යයෙනි තොපි තොපගේ ස්වාමියාට බියවූ. ඔහු තොප සියල්ලම එකම ප්‍රාණයකින් නිර්මාණය කළේය. ඔහුගෙන් ඔහුගේ භාර්යාව නිර්මාණය කළේය. “
 (ශු.අල්කුරාන් : සුරාව: 4;1)

සොමාලී සමාජය පීතෘ මූලික ඉස්ලාම් නීතියෙන් හැඩගැසුණු දරදඬු සමාජයකි . සොමාලී සමාජය තුළද මේ සුන්නත් කිරීමේ කටයුත්ත පිළිබඳව යම්කිසි ඉදිරිගාමී සිතුවිලි මුල් බැස තිබූ ආකාරය කතාව පුරාවට අපට  හමු වේ. විශේෂයෙන් බාහිර ලෝකයෙන් වෙන් වූ කාන්තාරය තුළ බරපතළ ලෙස අමානුෂික අයුරින් එය සිදුවන්නේය. දිනක් පියාගේ මිතුරෙකු වාරිස් හා ඇයගේ සොහොයුරියට කරන ලද චෝදනාවෙන් එය පසක් කරවයි.

මිතුරා මහලු අයකු වූ අතර දිනක් ඔහු මට සහ මගේ නැගණියට මෙසේ කියමින් බැණ වැදුණේය "තාම සුන්නත් කරලත් නැහැ එන්ඩ එපා මගේ දෑහැට පේන්ඩ “

මෙවැනි ආකාරයට සමාජය තුළින් ද සුන්නත් නොකල ගැහැණු ලමුන් ප්‍රතික්ෂේප කරන්නට විය. විශේෂයෙන් සුන්නත් නොකල ගැහැනියට විවාහය අකැප යැයි විශ්වාසයක් ඒ සමාජය තුළ තිබිණි. මෙවැනි ඒකාකෘති නිසාම සෝමාලියාව තුල කාන්තාවන් බොහෝ අයට මේ ඉරණම අත් විදීමට සිදු වන්නීය.  
වාරිස් මෙම කෘතියේ අවසානයේ දී පුරුෂ මූලික සමාජයට තදබල ලෙස චෝදනා කරන්නීය. ඇය පවසන ආකාරයට පුරුෂයන්ගේ ද ලිඟුව තළා පොඩි කර රුධිරය වහනය වන තත්වයට ඉඩ හැරියේ නම් පුරුෂයාට තම භාර්යාව දියණිය දරන වේදනාව තේරුම් ගැනීමට හැකි වේ යැයි ප්‍රකාශ කරයි. ගෝත්‍රිකව හෝ ආගමිකව විකාශය වී පැමිණි මේ කෲර චාරිත්‍රයෙන් , පුරුෂයා කාන්තාව තේරුම් ගත යුතු බවත් පුරුෂයා කාන්තාව පහත් කොට සැලකීම, මේ ඉරණම ගැහැණියට අත් විඳීමට හේතු වූ බවත් ආගමික කාරණා තුළ  ද කාන්තාව පුරුෂයාට වඩා පහතින් තබා යම්  රාමුවකට කොටු කර අර්ථ දැක්වෙන බවත්,  ඒ නිසා ඉන් මිදීමට කාන්තාවට අසීරු බවත් මෙයින් ජනිත කරවයි .


“ ස්ත්‍රී චර්ම ඡේදනය මෙන්ම මෙම ගෝත්‍රික යුද්ධ ඇතිවීමට හේතුව අන් කිසිවක් නොව මිනිසුන් තුළ ඇති ආත්මාර්ථකාමය , මමංකාරය සහ ක්‍රෝධය යි.  පුරුෂ පක්ෂ මීට වඩා සුබවාදීව කටයුතු කළහොත් මේ පවතින යුද්ධ හොරකම් ස්ත්‍රී දූෂණ ආදිය අහෝසි වනවා ඇත. මිනිසුන්ගේ ලිඟුව තලා පොඩි පොඩිපට්ටම් කර රුධිර වහනය වීමට  ඇරියහොත්   සමහරවිට  විට ඔවුන් සිය භාර්යාවන් සහ දියණියන්ට කරන මේ මිලේච්ඡ ක්‍රියාවේ තරම පළමුවෙනි වතාවට ඔහුට වටහා ගැනීමට හැකි වනු ඇත    “

ස්ත්‍රීන් සුන්නත් කිරීමේ චාරිත්‍රය අමානුෂික ගෝත්‍රික චාරිත්‍රයක් ලෙස ගෙන, එය ඉස්ලාම් ධර්මයට කාන්තාරයේ සන්දර්භය හරහා ව්‍යාප්ත වූ බව ඇතැම් අය තම අදහස් දක්වති .
මෙහිදී විවාහය ගැන නම් සාකච්ඡාවට බඳුන් විය යුතුමය. සෝමාලියානු සමාජය පීතෘ මූලික  සමාජයක් බව අප දන්නේ ය. මෙහිදී පියාට අවශ්‍ය ලෙස තම දියණියන් විවාහ කර දීමට හැකිය. වාරිස්ගේ සොහොයුරිය අමන් නිවසින් පලා යන්නේ පියාගේ විවාහ යෝජනාවට විරුද්ධ වෙමිනි. එමෙන්ම වාරිස්  ද තම නිවෙස අතහැර පලා එන්නේ තම පියා විසින් නාකියකුට ඇයව විවාහ කර දීමට යාම නිසාය. ඇත්තෙන්ම එය විවාහය ලෙස අර්ථ දැක්වීමට වඩා ඔටුවන්  පස් දෙනකුට වාරිස්ව  ගනුදෙනු කිරීම වැනි අර්ථයක්  ලබාදිම සුදුසුය .  කුරාණයේ මෙම විවාහය ගැන සදහන් තොරතුරු ගන්නා කළ පුරුෂයන්ගේ කැමැත්ත මත ස්ත්‍රීන් අයිතිකර ගැනීම  සුදුසු නැති බව  සඳහන් වේ. 

 “   එම්බල විශ්වාස කරන අයවලුනි .ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ස්ත්‍රීන්  අයිති කර ගැනීම තොපට අනුමත නැති.” 
“ කිසිම පුරුෂයකුට ( අල්ලාහු විශ්වාස කරන්නේ නම්)  ස්ත්‍රියක් බලෙන් පාවා ගැනීමට නුපුළුවන    “ 
(ශු.අල්කුරාන් : සුරාව: 4;19)

මේ ආකාරයට කුරානයේ දැක්වේ. එමෙන්ම කාන්තාව තම ස්වාමි ස්වාමිපුරුෂයාට යටහත් පහත්ව සිටිය යුතු යැයිද කුරාණයේ දක්වා ඇත.

“   ස්වාමිපුරුෂයාට යටහත් පහත් වීම කාන්තාවගේ පළමු රාජකාරියයි මෙය පැහැර හැරියහොත් ඇය මරා දැමීමට අද පවා පිළිවන  “
(ශු.අල්කුරාන් : සුරාව: 2 ;223)

මේ ආකාරයට කුරාණයෙන් දෙන අර්ථ බාහිර ලෝකයෙන් ද වෙනස්ව ජීවත් වන කාන්තාර වැසියන් කෙසේ පිළිගනිවිද ! පුරුෂයාට පිටින් යන කාන්තාවට සත්‍යයෙන්ම සෝමාලියානු සන්දර්භය තුළ දී දරුණු ප්‍රතිඵල අත් කර දුන්නේය . ඉස්ලාම් ධර්මයට අනුව බහු භාර්යාවන් විවාහ කරගැනීම සිදු කිරීම වරදක් නොවන බව කුරාණයේ ද සඳහන් කර ඇති අතර එයට යම් සීමාවක් ද පනවා ඇත.

 “ අනාථයන් ගැන  සාධාරණ වැ  නොපිළිපදින්නා හු යයි තොප බියවන්නා හු නම්  ස්ත්‍රීන්ගෙන් තොපට සතුටු අය දෙදෙනෙකු තිදෙනෙකු හෝ සිව්දෙනකු හෝ පවා ගනිව් "        (ශු.අල්කුරාන් : සුරාව: 6;3)
 එහෙත්, 
"(තොප ගේ ) භාර්යාවන් අතර සාධාරණ ව සිටීමට (කොපමණ) උත්සාහ කළත් තොපට නො හැකි ය.( එහෙත් තොප ආලය කරන එක් භාර්යාවක් වෙතැ ) . තොප එකහෙලාම හැරී අනිත් ස්ත්‍රීන් (අහසේ) එල්ලී සිටින කෙනකු මෙන් අත් නොහරීවි. “  (ශු.අල්කුරාන් : සුරාව: 4;129)

මේ ආකාරයට කුරාණයේ අර්ථවත් වන විවාහ කිහිපයක් කර ගැනීමේ සම්ප්‍රදාය ද රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නේ ය . වාරිස්ගේ පියාද  විවාහයන් ද්විත්වයක් කරගනී වාරිස්ගේ මව මෙහි දී කිසිත් නොකියා  සියල්ල හිතින් දරාගෙන සිටින්නේ කාන්තාවට එය දරාගෙන සිටිය යුතු යැයි සමාජය විසින්ම උරුම කර දී ඇති නිසාය. කාන්තාරයේ දී නම් පිරිස් බලය වැඩි කර ගැනීමේ අරමුණින් එනම් ජලය සොයා යාම, සතුන්  බලා ගැනීම වැනි අරමුණු වලින් පවුලට ගැහැනුන් එක් කරගැනීම සිදුවිය. ආගමික පැතිකඩකින් ද අනුමත කර ඇති නිසා ගැටලුවක් සමාජය තුළ නොමැත්තේය .

“ ආ.... එහෙනම් ඔක්කොම ඇවිල්ල මගේ අලුත් බිරිඳ හඳුනා ගනිල්ලා අවුරුදු දාහතක් පමණ වයසැති කෙල්ලෙක් ඉදිරියට තල්ලු කරමින් ඔහු කීවේය. පියාගේ තීරණයට විරුද්ධව කිසිවක් පැවසිමට කිසියම් අයිතියක් නොමැති අප ඇය දෙස බලා සිටියෙමු “
“  මගේ අම්මාගේ මුහුණ මම අඩ අඳුර තුළින් දුටුවෙමි. ශෝකයෙන් බරිත වූ ඇගේ මුහුණ බිමට නැඹුරු වී තිබූණි .තම ස්වාමි පුරුෂයා ඇයට අහිමි වී මේ කෙලි පැටික්කිට ඔහු හිමි වී ඇති බව අම්මා තේරුම් ගත්තා ය.  උතුරා යන ඊර්ෂ්‍යාවකින් ඇය පෙළෙන්නට වූ අතර ඇය සිත දැඩි කර ගනිමින් එය නොපෙන්වා සිටින්නට උත්සාහ කළා ය  “

ශ්‍රී ලංකාව වැනි සන්දර්භයක නම් අන් භාර්යාවක් කරා පුරුෂයෙක් ගිය විට එය ඉතාමත් දරුණු ප්‍රතිඵල අත්කර දෙයි. එය සංස්කෘතික වශයෙන් ද ආගමික වශයෙන්ද සදාචාරාත්මක නොවන දෙයක් ලෙස ඒත්තු ගන්වා ඇත. නමුත් මෙම ඉස්ලාමීය සන්දර්භය තුළ බහු  භාර්යා විවාහයට අනුමැතිය ලැබී ඇති බැවින් කාන්තාව එය කෙසේ දරා ගනීද? .මෙහි දී වාරිස්ගේ මවට සාම්ප්‍රදාය අභිබවා යන්නට නොහැකි විය .එය විද දරාගෙන සිටීමට ඇයට සිදුවිය. 

වාරිස් කුඩා කාලයේදීම තමන් ජීවත් වූ සම්ප්‍රදාය කඩා බිද දමමින් ඉදිරියට එන්නියක ලෙස විවාහය ගැන  ද සාම්ප්‍රදායික ඒකාකෘකෘතිය ට යටවූ සෝමාලි ගැහැණියට වඩා යම් චින්තනයක් ඇත්තේය .BBC රූපගත කිරීමේදී ඇගේ මව හමු වන අවස්ථාවේ දී ඇය තම මවට දෙන පිළිතුරෙන් වාරිස් කෙතරම් සෝමාලියානු ඉස්ලාමීය සන්දර්භය තුළින් කාන්තාව විවාහය සම්බන්ධව දරා තිබූ මතය බිඳ දමන්නේ ද යන්න වැටහේ. 

“ ඇයි අම්මේ.... මම කසාද බැදිය යුතු ම ද? ගැහැනියක් උනාම කසාද බඳින්නම ඕනෑ ද? ඔයා කැමැති නැද්ද මම නිදහස් , සාර්ථක ගැහැනියක් වෙලා ඉන්නවා දකින්න අනෙක මම තවමත් අවිවාහකව ඉන්නේ ඒකට හරියන කෙනෙක් හම්බ වෙච්චි නැති හින්දා... ඒ සුදුසු කෙනා හමු වුන දවසට ඒක සිද්ධ වෙයි     “

පරිසරය ඇසුරින් මිනිසා වෙනස් වන බවත් පුද්ගල චර්යාවන් පමණක් නොව චින්තනය ද ඒ අනුව වෙනස් වන බව මාක්ස්වාදීන්ගේ පිළිගැනීමයි. වාරිස්ගේ මේ වෙනස්වීම ඉහත  ප්‍රකාශය මැනවින් සනාථ කරවයි. සාම්ප්‍රදායික කාන්තාවක් වන වාරිස්ගේ මව සහ වාරිස් අතර සංවාදය තුළ එය මනාව කැපී පෙනෙන්නේය. කාන්තාව තුළ පමණක් නොව වාරිස්ගේ සහෝදරයා හා වාරිස් අතර ද එය මනාව විශද කරවයි .


වාරිස්ගේ යම් යම් ප්‍රකාශ තුළින් බොහෝ විට ඉස්ලාම් ආගම සහ එහි සංස්කෘතික සන්දර්භය නැවත නැවතත් ප්‍රශ්න කරන්නීය. තවත් අවස්ථාවක් නිදසුන් කොට දක්වන්නේ නම්  මුස්ලිම් කාන්තාව සංකේතවත් කරන බුර්කාව පිළිබඳවද මේ කෘතියේ සඳහන් ය. වාරිස් තම ආච්චි අම්මා ළඟ සිටින කාලයේ ඇය සමග පොළට යෑමට වාරිස්ට  සිදුවිය. මෙහිදී ආච්චි විසින් බුර්කාව ඇඳගෙන ගමන් කරන බව සදහන් වේ. වාරිස්ට  එය නුහුරු දෙයකි ඇය මෙහිදී බුරුකාව අඳින එක පිළිබඳ අත්තම්මාට විහිලු කරන්නීය. මන්දයත් කාන්තාරයේ තුළදී ඇය එම අත්දැකීම ලබා නැති හෙයිනි.

“  මගේ ආත්තම්මා කිසියම් අරාබි රටක හැදුණු වැඩුණු අයෙකු විය . නිශ්චිත වශයෙන්ම ඇය හැදී වැඩුණේ කිනම් අරාබි රටකද යන්න නම් මම නොදනිමි. ඇය ඉතා සැදැහැවත් මුස්ලිම් භක්තිමතියකු වු  අතර දිනකට පස්වතාවක්  ශුද්ධවූ මැකා පිහිටි ඉසව්ව දෙස බලාගෙන යාඥා කරන්නට පුරුදුව සිටියාය. ඇය නිවසින් පිටව යන විට කළු රෙද්දක් හිසේ සිට පාද දක්වා වැසෙන සේ ඇදගෙන ගියා ය . “

“අත්තම්මේ ඔයාට ඔය රෙද්ද ඇතුලෙන් හොඳට පේනවද.... ඔයා දන්නවද ඔයා ඔය කොහෙද යන්නේ කියලා" මේ විදියට මා ඇයට විහිළු කළා ය.

වාරිස් ගේ ආච්චි අරාබි රටේ හැදී වැඩී ඇති බව සඳහන් වේ. මෙහිදී ද ඉස්ලාම් ධර්මයට සංස්කෘතියෙන් එකතු උදේ මනාව වටහා ගත හැක. සෝමාලියානු කාන්තාරය තුළ මුස්ලිම් ගැහැනුන් බුර්කාව නොපළදින බව මෙයින් ගම්‍යමාන වේ. එය අරාබියෙන් ආ විලාසිතාවක් මිස ඉස්ලාමීය ධර්මයේ සංකේතයක් නොවන බව යම් සංකේතාත්මක සටහනක් සපයයි. මෙහිදී ඉස්ලාම් ආගම තුළ ඇති මතභේදාත්මක කරුණු සම්බන්ධව යම් පැහැදිලි අදහසකට ඒමට හැකිය .බංගලාදේශ -ස්වීඩින කර්තෘ වරියක වූ තස්ලිමා නස්රීන්  පවසන ආකාරයට බුරුකාව යනු "ජංගම බන්ධනාගාරයකි." මේ ආකාරයට අරාබියෙන් අප්‍රිකාවට මේ විලාසිතාව එන්නට ඇද්දැයි ප්‍රශ්නාර්ථයකි. දැන්නම් විලාසිතාවට වඩා බුර්කාව මුස්ලිම් ආගමික සංකේතයක් බවට පත්ව ඇත්තේය. 

ඉස්ලාමීය ගැහැණුන්ගේ මුහුණු ආවරණය සහ ඉස්ලාමීය කාන්තාවට අධ්‍යාපනය ලබා දීම ගැන ඕෂෝ මෙසේ සඳහන් කරන්නේය . 

"ඉස්ලාම් වැනි ආගම් අනුව ගැහැනුන්ගෙ මුහුණු ආවරණය කෙරේ. එම ස්ත්‍රීන්ගේ මුහුණුවලට හිරු එළිය නොවැටෙන හෙයින් ඒවා සුදු මැලි වේ. ඔවුන්ගේ මුහුණ වසා තැබේ. ඔවුන්ගේ සිරුරු ද හැකි සියලු අයුරින් ම ආවරණය කෙරේ. ගැහැණියට අධ්‍යාපනයක් නොසැපයේ මක්නිසාද අධ්‍යාපනය පුද්ගලයින්ව විස්මිත ආකාරයේ සිතුවිලි ගෙන දෙන හෙයිනි. පුද්ගලයෝ එවිට සිතන්නට පටන් ගනිති තර්ක කරන්නට පටන් ගනිති ………."

සත්‍යයෙන්ම වර්තමානයේ පවා ඉස්ලාමීය ගැහැනියට අධ්‍යාපනය ලබාදීම කෙරෙහි දැඩි වුවමනාවක් නොමැති බව පෙනේ. කාන්තාරයේ කුසුමේ  එය මනාව විද්‍යාමාන වේ.  වාරිස්ට නම් අධ්‍යාපනය අහිමි වන්නේ ඇය කාන්තාරය නම් සන්දර්භයේ ජීවත් වූ නිසා ය . නමුත් මොගඩිෂු වල සිටින ඇගේ නැන්දගේ  දියණියට ද අධ්‍යාපනය අහිමි විය. බොහෝ විට ඉස්ලාමීය කාන්තාවට හිමි වී තිබුණේ පිරිමියාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම, ළමුන් බලා ගැනීම සහ කුස්සියය . කාන්තාවට අධ්‍යාපනය ලබා දීමෙන් ඔවුන් සිතීමට තර්ක කිරීමට පටන් ගත හොත් පුරුෂ මූලික සමාජය අභියෝගයට ලක්වන නිසා ම කාන්තාව පහත් තත්ත්වයක තැබීමට ඉස්ලාමීය සමාජය උත්සුක වී ඇති බව කාන්තාරයේ කුසුම කෘතියේ සන්දර්භය තුළ පෙනී යයි .
දේව විශ්වාසය සහ ඇදහීම පිළිබඳ කතිකා කරන කල්හි ඇතැම් බුද්ධිවාදී චින්තකයන් පවසන පරිදි දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය මිනිසාගේ මනසට ඇතුළු වන්නේ මිනිසාගේ උපතේදීය .එනම් සහජයෙන්ම දෙවියන් පිළිබඳ සංකල්පයන් රැගෙන එන බව ඔවුන්ගේ මතය විය. නමුත් ජෝන් ලොක් වැනි දාර්ශනිකයන් එම මතය නිශේධනය කරන්නේය. ඔහු දක්වන පරිදි පුද්ගල මනස උපතේදීම හිස්ව පවතී.  මිනිසාට දෙවියන් පිළිබඳ සංකල්පය උපතින්  හිමි නොවන බවත්, දේව සංකල්ප මිනිසාගේ අනුභූතීන් අනුව එනම් අත්දැකීම් අනුව පුද්ගල මනසට කා වදින බවත් පවසයි. එමෙන්ම බටහිර දාර්ශනිකයකු වන ස්පිනෝසා ප්‍රකාශය කරන ආකාරයට මිනිසා කෙරෙහි අවට ලෝකය බලපාන තරමටම ඔහු එහි වහලෙක් ව සිටින්නේ ය. කාන්තාරයේ කුසුම සන්දර්භය දෙස නැවත විග්‍රහ කර ගන්නා කල්හි ඉස්ලාමය මුල් බැසගත් සංකල්පයක් එයින් විශද වේ .
ජෝන් ලොක් , ස්පිනෝසා  වැනි දාර්ශනිකයන් දක්වන ආකාරයට  පුද්ගලයාගේ අනුභූතීන් තමා අදහන දේ සමග මුහු වන බවට මෙම කෘතියෙන් උදාහරණ සැපයේ.

කෙතරම් ඉස්ලාමීය භක්තිකයන් වුවද කාන්තාරයේ වෙසෙන ජනයා යම් යම් හූනියම් වැනි දෑ ද  විශ්වාස කෙරෙනි. වාරිස්ගේ නැගණිය මිය යන විට වාරිස්ගේ අම්මා ඇයට බැණ වදින අවස්ථාවේ ඇය සතු වූ යම්කිසි හූනියම් බලයක් නිසා මෙලෙස විපතක් සිදු වූ බවට චෝදනා කරයි .

“  මගේ නැගණිය දෙස මා එක එල්ලේ බලා සිටින විට අම්මා මට කම්මුල් පහරක් ගැසුවාය. මගේ නැගණිය මිය ගියේ මා සතුව තිබූ කිසියම් හූනියම් බලයක් නිසා යැයි නිරන්තරයෙන්ම පැවසූ මගේ අම්මා ඇගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුම එසේ කියමින් මට දොස් නැගුවා ය. “

එමෙන්ම ඔල්ඩ්මැන් නම් වාරිස්ගේ සොහොයුරාට ද කිසියම් ගුප්ත බලයක් තිබූ බවට ඔවුන් තුල තිබූ විශ්වාසය ද, මිථ්‍යා විශ්වාස පිළිබඳව ඔවුන් විශ්වාස කළ බවට සාක්ෂි වේ. ඔවුහු ඉස්ලාමයම පමණක් අදහන්නේ නම් ඔවුන් මෙවැනි මිත්‍යා මත කෙරෙහි විශ්වාසය තබා ගන්නේ කෙසේද එහිදී ඔවුන්ගේ අනුභූතීන් සෘජුවම ඔහුන්ගේ ඇදහිල්ලට බලපා ඇති බව තහවුරු වේ .

මෙලෙස මිත්‍යා  විශ්වාස කොතෙක් විශ්වාස කළ ද වාරිස් සෑමවිටම තම සර්වබලධාරි දෙවියන්ම විශ්වාස කළාය .ඇය සෑම අනතුරක දී ම පාහේ දෙවියන් පසක් කළාය . මෙහිදී යම් කාරණයක් පවසන්නට ඇත්තේ ය. මිනිසාට දෙවියන් මතක් වන්නේ තම පවු කමා කර ගැනීමටත් තමන්ට අනතුරක් ඇතිවූ විටත් යන කියමනෙ යම්කිසි සත්‍යයක් නැතුවා ම නොවේ බොහෝ අවස්ථාවල මෙම කෘතියට අනුව නම්  වාරිස් දෙවියන් යදින්නේ තමනට යම් කිසි දුකක් කරදරයක් හෝ උවමනාවක් අවශ්‍ය වූ විට ය. උදාහරණ කිහිපයක් දැක්විය හැකිය කාන්තාරයෙන් පැන නගරයට පැමිණෙමින් සිටියදී ඇයට සිංහයකු මුණගැසෙන අවස්තාව ,

“  මම  අල්ලාහ් දෙවියන් ඇමතුවෙමි;  දෙවියනි !! මේ මාගේ අවසානයයි ……. මාව ඔබ තුරුලට  ගනු මැනවි !! “
“ ඇත්තෙන්ම මගේ සමීපතම මිතුරා වන සර්වබලධාරී දෙවියන් වහන්සේ මා මියැදෙන්නට නොදී බේරා ගන්නට ඇත්තේ ඔහුට මා වෙනුවෙන් කිසියම් සැලැස්මක් තිබූ නිසා බව සැකයක් නැත.  “

මෙවැනි අවස්ථා දැක්විය හැකි අතර සෑම විටම දෙවියන්ට අනුව දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල ම සිදු වන බව ඇය තරයේම  සැමවිටම විශ්වාස කරන්නීය. 

“   රාත්‍රී කෑමට කිසිම ආහාරයක් නොතිබුණ දිනවලදී අපි සංසුන් ව සිටින්නට උත්සාහ කරන අතර සර්වබලධාරී  දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපට හෙට දිනයේ දී වත්  කුසට ආහාරයක් ලැබේ යැයි විශ්වාස කිරීම අපගේ ජීවන දර්ශනය විය. ඊට හේතුව අපගේ ජීවිත රදා පවතින්නේ ස්වභාවධර්මය හසුරුවන සර්වබලධාරී  දෙවියන් වහන්සේ අත ම වන බැවිනි ..   

වා‍රිස් කෘතිය අවසානයේදිද චර්මඡේදනය අවසන් වීම ගැන පවසා ඇය මෙලෙස පවසයි, 
“   එය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් එය සිදුවනු ඇත “


සෑම විටම තම ජීවිතයේ විවිධ කඩයිම් තමන්ගේ ධෛර්යය සහ කැපකිරීම මත වෙනස් කරගත් වාරිස් අවසානයේ දී වුවද  දෙවියන් හට එය භාර දී කටයුතු කිරීම යම්කිසි විහිළු සහගත කාරණයක් ලෙස දැකිය හැකිය. ඇය විවාහයට පයින් ගසා පැන ඒම, ආගමෙන් සීමා පණවා සිර කර තිබූ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීම වැනි සාමාන්‍ය ඉස්ලාමීය කාන්තාවක් නොකරන දෑ ඇය ආගම අභිබවා යමින් යම් තරමකින් කර ඉන් පසු ද  දෙවියන්ට එය බාර දී සිටි.

මාක්ස්වාදීන් දෘෂ්ටිවාදයන් පිළිබඳව දරන  මතය අනුව වාරිස් ද තම යථාර්ථය  තේරුම් ගත්ත ද තමන්ට හුරු කර ඇති එකාකෘතියෙන් යම් තරමක පවතින්නට ද ,තම දුෂ්ටිවාදයන්  සමග එල්බ ගෙන සිටිමද සිදුකරන්නීය.
නමුත් ඇය පහත ප්‍රකාශ කිරීමෙන් ඇය ඉස්ලාම් ආගමේ යම්කිසි සාරයක්  නිසි පරිදි ග්‍රහණය කරගෙන ඇති බවත්  දහම දැනගෙනය ඇදහීම ද පටන් ගෙන ඇති බවත් වැටහේ.

“  මා අප්‍රිකාවට ගිය හොත් අන්තවාදී ආගමික අන්ධ භක්තිකයන් විසින් මා ඝාතනය කොට දැමීමට ඉඩ ඇති බැව් බොහොමයක් මාගේ මිතුරන්ගේ මතය විය. ඇත්තෙන්ම ආගමික මූලධර්මවාදීන් චර්මඡේදනය ශුද්ධ වූ ක්‍රියාවක් වශයෙන් සලකන අතර මම එය දරුණු අපරාධයක් හැටියට හඳුන්වා ඊට විරුද්ධව කතා කිරීම නිසා මෙම කර්තව්‍යය නිසැකයෙන්ම අන්ත්‍රාදායක කටයුත්තක් බැව් සැබැවි එහෙයින් ඒ ගැන මා තුළ බියක් ඇතිවී ඇති බව මම පිළිගනිමි. ඊට හේතුව දැන් මට  බලා හදා ගන්නට පිරිමි දරුවකු සිටින බැවිනි. එහෙත් දෙවියන් වහන්සේ හා නිශ්චිත කරුණක් පෙරදැරි කරගෙන මෙම මාවතට කැඳවාගෙන විත් සිටින බැවින් එන ඕනෑම දේකට ශක්තිමත්ව මුහුණ දෙන ලෙස මගේ දෛවය මගෙන් ඉල්ලා සිටී . මා ඉදිරියේ ඇති අරමුණ ජයගැනීම සඳහා  සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් කටයුතු සූදානම් කොට ඇත. මා මෙලොව එළිය දකින්නට බොහෝ කලකට පෙර දෙවියන්වහන්සේ විසින් මා මිය යායුතුයි දිනය තීරණය කර ඇති බැවින් එය මට වෙනස් කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතය හැම අවස්ථාවකදීම අන්ත්‍රාව නොතකා  තීරණ ගත් අයකු වශයෙන් මෙවරත් එවැනි තීරණයක් ගෙන බලමි.  “

ඉස්ලාමීය මූලධර්මවාදීන්,  කුරානය වැරදි ලෙස අර්ථ දක්වා ගන්නා පිරිස් යයි හඳුන්වා දිය හැකිය .ඇය කුඩා කල සිට ඔහුන්ගේ ඉගැන්වීම් වල සිරකාරියක් වන්නට ඇත. නමුත් වාරිස් කාන්තාරයේ පිපුනකුසුම රැගෙන තම ජීවිතය සොයා පැන යන්නීය. ජීවිතය කටුක වේදනා විඳි ඇය අවසානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද නියෝජනය කරන තැනැත්තියක් බවට පත්විය.

කාන්තාරයේ කුසුම කෘතියේ ආගමික පසුබිම පිළිබඳව සලකා බලන කල්හි එය ඉස්ලාම් ආගමික සන්දර්භයකින් ලියවී ඇති බව අප කවුරුත් දන්නේය. මෙහිදී කුරානයේ යම් කරුණු සමග කාන්තාරයේ වාරිස්ගේ  ජීවිතය සසඳන කල්හි එම කොතරම් දුරට ඉස්ලාම් ධර්මය විකෘති කරගෙන අදහන්නේ ද යන්න වැටහේ .එමෙන්ම විවිධ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රියාකාරකම් ද අවසානයේ ඉස්ලාම් දහමේ සමග මුසුවී විකාශය වී ඇති බව  පැහැදිලි නිගමනයකට උදාහරණ සහිතව මෙම කෘතිය තුළින් පසක් කරවයි කෙසේ වෙතත් "ආගම විසින් කිසි විටෙකත් මිනිසා පාලනය නොකළ යුතු ය." යන කියමන මෙහිදී බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට හැක්කේ ය. එය එසේ නොවන කල ආගම තුළින් ශ්‍රම බලකායට අවශ්‍ය ශ්‍රමිකයන් ඉබේම නිර්මාණය කර මිනිස් ශ්‍රමය සූරා  කෑම සදහා ආගම ද යම් තරමක උදව්වක් වන අයුරු විශද වේ . අවසාන වශයෙන් වාරිස් තමන් ගැහැනියකු ලෙස තමාව මෙලොවට දායාද කළේ ඇයිදැයි  ප්‍රශ්න කිරීම තුළින්ම එහි යම් කිසි සැඟවුණු අර්ථයක් පැවසෙන බව අපට වැටහේ .

“  සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින්  අංග සම්පූර්ණ ගැහැණියක් ලෙස මා මෙලොවට කැඳවාගෙන විත් ඇතැයි මම හගමි.  එතකුදු  අධම මිනිසුන් විසින් මගේ  ශක්තිය විනාශ කර දමා මා බෙලහීනයකු  කර ඇත. ඒ මතුද නොව ඔවුන් මගේ  ස්ත්‍රීභාවය සොරාගෙන ඇත. භගමනිය  වැනි ඉන්ද්‍රියන් ගැහැනියකට අනවශ්‍ය යැයි දෙවියන් වහන්සේ කල්පනා කළේ නම් ඔහු ඒ ඉන්ද්‍රියන් සහිතව ගැහැනිය මෙලොවට උත්පාදන කලේ මන්ද කිසිම ගැහැනියකට මෙම වේදනා විඳින්නට සිදු නොවන දිනක් උදා වේවායි මම යාච්ඤා කරමි.  “

මිනිසාට කළ නොහැක්කක් නොමැති බව දාර්ශනික හේගල් පවසයි එමෙන්ම ලොව ඕනෑම මිනිසෙකුට තම ස්වච්ඡන්දතාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමේ නිදහස හිමිය . එමෙන්ම ඒ සමගම වගකීමක් ද මිනිසාට එක්වේ . වාරිස්ද  අද වන විට එම වගකීම තම කරපිටට ගෙන ඇත්තේය.

ආගමේ නාමයෙන් හෝ සම්ප්‍රදායේ නාමයෙන් හෝ කෙරෙන අමානුෂික ක්‍රියාවන් හා කාන්තාවන් පහත හෙළීම වැනි කාරණා හෙළාදැකීමට වාරිස් ගත් පියවර සදා නොමියෙනු ඇත!




එච්.සුදේශ් අබේනායක
ජනසන්නිවේදනය ශ්‍රාස්ත්‍රවේදී (ගෞරව) ප්‍රථම වසර 
කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Post a Comment

Popular posts from this blog

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද