තුවාල සුව වෙන්න පරක්කුද?

 දියවැඩියාව එක්ක එන තුවාල ගැන කතා කරන්න හිතුවා.



දියවැඩියාව කියන්නෙ සීනි වැඩි එකම විතරයි කියල හිතන් ඉන්න කට්ටියව පොඩ්ඩක් බය කරන්න හිතුනා. මොකක්ද මේ දියවැඩියාවත් එක්ක එන හොද වෙන්නෙ නැති තුවාල. එතකොට ඇයි එව්ව රිදෙන්නෙ නැත්තෙ. ඒකට හේතු වෙන්නෙ දියවැඩියාව එක්කම එන ස්නායු ආබාධ තත්වයකුයි රුධිර නාල අවහිරතාවයකුයි. 

ස්නායු ආශ්‍රිත සංකූලතා

ඉතින් දියවැඩියාව තියන වෙලාවට ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයක් අපේ ඇගේ හැදෙනව. ඒ නිසා ඇගේ සීනි මට්ටම වැඩි වෙනව. ඒ කියන්නෙ ග්ලූකෝස් මට්ටම. එතකොට පොලියෝල් ප්‍රතික්‍රියා සක්‍රීය වෙලා ඒකෙන් සෝබිටෝල් ප්‍රමාණය වැඩි වෙනව. එතකොට NO සෑදීමේ ක්‍රියාවලිය නම් නවතිනව. ඉතින් රුධිර නාල හැකිලෙනව. මොකද NO තමයි ප්‍රධාන වශයෙන් රුධිර නාලවල හැකිලීම වළක්වන්නෙ. එතකොට ස්නායු වලට රුධිර සැපයුම නැවතිලා ස්නායු අකර්මණ්‍ය වෙන්න පුළුවන්.

ඊට අමතරව සොබිටෝල් වලින් ATPase ක්‍රියාව අඩු කරන නිසා ස්නායු ආවේග සන්නයනය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ වයර් එක දිගේ කරන්ට් යන්නෙ නෑ. මොකද ස්නායුව වයර් එකක් නම් ඒකෙ කරන්ට් එක යන්න සෝඩියම් එක්ක පොටෑසියම් දෙපැත්තට පැන පැන ක්‍රියා කරන්න ඕනෙ මේකට උදව් වෙන්නෙ ATPase පොම්ප ක්‍රියාවලිය. ඉතින් ස්නායු අකර්මණ්‍ය වීමක් වෙන්න පුළුවන්.

ඒ වගේම මයෝඅයිනොසයිටෝල් නැවත ප්‍රතිශෝෂණය අඩු වෙන නිසා ස්නායු වල මේ සංයෝගය අවම වීමත් තවත් හේතුවක්.

ඊළගට මේ රුධිරයේ තියන ග්ලූකෝස් නිසා ප්‍රෝටීන කොටස් බැදිලා විකෘති වෙලා glycated proteins හදන්න පුළුවන්. ඒ නිසා ස්නායු සෛල වටකරන ශ්වාන් සෛල ආවරණ හානි වීම වගේම ආවේග සන්නයනයටත් ගැටළු ඇති වෙනව. ඉතින් තුවාලෙ රිදෙනව කියල අපිට දැනෙන්නෙ නෑ. මොකද තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙ ඉදන් ස්නායුව හරහා කරන්ට එක එන්නෙ නෑ.

රුධිර නාල ආශ්‍රිත සංකූලතා

ග්ලූකෝස් මට්ටම ඉහළ යනවත් එක්කම රුධිරය තුළ ප්‍රෝටීන හා ග්ලූකෝස් එකතු වෙලා glycated proteins හදන්න පටන් ගන්නව. මේවා schiff bases වෙලා ඊළගට amadori products වෙනව. ඒකෙන් ආසාදනයක් ඇති කරලා ඒත් එක්කම Advanced glycated end products හදනව. මේ නිසා මං ලිපිඩ ලිපියෙ සදහන් කරපු ලිපිඩ තැන්පතු ඇති වෙන්න හේතු වෙනව. ඒ වගේම ඔක්සිකාරක හැකියාව තියන අණු රුධිරය තුළ බහුල කරන්නත් මේක හේතුවක්. ඉතින් LDL ඔක්සිකරණය කරල ඒව රුධිර නාල වල තැන්පත් කරල රුධිර නාල අවහිර වෙනව.

ඉතින් මේ හේතු නිසා දියවැඩියාව කෙනෙක්ගෙ තුවාලයක් ආවම ඒක දැනෙන්නෙ නෑ. මොකද ස්නායු අකර්මණ්‍ය වෙලා නිසා. ඒ වගේම හොද වෙන්නෙත් නෑ. මොකද රුධිර නාල වැහිලා පෝෂක හා සුදු රුධිරාණු oxygen සැපයීම අඩු වෙනව නිසා.

ඉතින් මෙහෙන වෙන්නේ ශරීරයේ දුරින් තියන කොටස් විශේෂයෙන් පාද හා අත්. ඉතින් මෙහෙම උනාම තුවාලෙ හොද නොවී පැසවල ඒ පටක මිය යනව. මිය ගිය පටක කුනු වෙනව. ඉතින් හොදම දේ කකුල කපන එක.

වැඩිපුර කාලා බීලා කකුළක් කපාගන්නවට වඩා ප්‍රමාණවත්ව කාලා සුවපත් වෙලා ඉමු නේද.

ඉතින් ඔයත් දියවැඩියාව රෝගියෙක් නම්, පවුල් ඉතිහාසයක් ඇත්නම්, පාද සම්බන්ධව අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඊළගට ඉතින් අපි හැමෝමත් දියවැඩියාව වළක්වගන්නම ඕනෙ.

තවත් ලිපියකින් හමුවෙමු.

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක


Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද