වයසට යද්දි ඇස් පෙනීම දුර්වල වෙන්නෙ ඇයි?

 වයසට යද්දි අපේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනව. ඒකට හේතුව වෙන්නෙ මොකක්ද 🤔


අපේ ඇසෙහි තියනව පුංචි කාචයක්. ඒක ද්වි උත්තල ඒ කියන්නෙ දෙපැත්තෙන්ම පිටතට වක් වුනු කාචයක්. සාමාන්‍යයෙන් මේකේ විෂ්කම්භය 10mm පමණ වෙනව. වටේට තියන zoonules කියන තන්තු ආකාර කොටස් වලින් මේ කාචය ඉන් පිටත ඇති ciliary body කියන කොටසට සම්බන්ධ කරනව. හරියට නිකන් බයිසිකල් රෝදෙක රිම් (ciliary body) එකට ස්පෝක් (zoonules) වලින් මැද කොටස (කාචය) සම්බන්ධ කරල තියෙන්නෙ අන්න ඒ වගේ. මෙම කාචය තුළ රුධිර වාහිනි දක්නට ලැබෙන්නෙ නෑ ඒ නිසා කාචය වීදුරු වැනි ස්වභාවයක් එනම් පාරදෘශ්‍ය ස්වභාවයක් ගන්නව. කාච තන්තු කියන දිගු සෛල විශේෂයකින් තමා මේ කාචය හැදිල තියෙන්නෙ. කාචයෙ මැද කොටස nucleus ලෙසත් වටේ කොටස cortex ලෙසත් හදුන්වනව. මේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම capsule එකකින් ආවරණය වෙලා තමයි තියෙන්නෙ.

අපිට මොනවහරි දෙයක් පේන්නෙ ආලෝකය ඒ වස්තුව මත වැටිල අපෙ ඇසට පතිත වීමෙන්. ඉතින් අපි ළග වස්තුවක් දිහා බලන වෙලාවට මේ කාචයේ වක්‍රතාවය වැඩි කරන්න ඕනෙ. ඉතින් ciliary body එකේ තියන පේශී සංකෝචනය වෙන්න පටන් ගන්නව. එතකොට zoonules නිදහස් වෙලා කාචය ලිහිල් කරනව. ඒ නිසා කාචය වක්‍රතාවය වැඩි කරගන්නව. එතකොට ළග තියන වස්තුවක ඉදන් එන ආලෝකය ඇසේ ආලෝකය පතිත වන තිරය වන් කොටස වන දෘෂ්ටි විතානය මත පතිත වෙනව. යම්හෙයකින් මේ කියන වක්‍රතාවය වැඩි කර ගැනීමට අපහසු උනොත් මේ අලෝකය වැටෙන්නෙ තිරය පිටුපසට. ඒකියන්නෙ ඇස් බෝලෙ කියල සාමාන්‍යයෙන් කියන කොටසටත් පිටුපසින්.

ඒ වගේමයි අපි දුර බලද්දි ciliary body එකේ තියන පේශි ලිහිල් වෙලා නිසා ඒව අතර දුර වැඩි වෙලා zoonules ඇදීමකට ලක් කරනව. එතකොට කාචය වටේටම ඇදී ගිහින් පැතලි වෙනව.

එතකොට හතලිස් ඇදිරිය එන කෙනෙක්ගෙ මේ ciliary body එකේ පේශී දුර්වල වෙලා වක්‍රතාවය වැඩි කරගන්න බැරි වෙනව. ඒ කියන්නෙ එයාට ළග පෙන්නෙ නෑ. ඉතින් පොතක් පත්තරයක් බලන්න කණ්ණාඩි දාන්න උනත් දුර පෙනීමෙ නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.  පිළියමක් විදියට කරන්නෙ අපේ ඇසේ කචයේ හැඩය කියල මං සදහන් කරපු ද්වි උත්තල කාචයක් සහිත උපැස් භාවිතා කරලා නැතිවුනු වක්‍රතාවය කෘත්‍රිමව ලබාගන්නව.

ඉතින් අවුරුදු 10ක ළමෙක්ගෙ පැහැදිලිව පෙනෙන ආසන්නතම ස්ථානය 9cm වුනත් අවුරුදු 60ක් පමණ වෙද්දි මේ අගය 83cm පමණ වෙන්න පුළුවන්. ඉතින් අපේ සීයලා ආච්චිල පත්තරේ කියවද්දි අත් දෙකම දිගහැරන් දුරින් අල්ලන්නෙ මේ කියන 83cm අගය පන්නගන්න ඕනෙ නිසා.


තවත් ලිපියකින් හමුවෙමු

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක

Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද