කතෝලිකයන් මේ දිනවල යෙදෙන උපවාසය!
අපේ උපවාසය..
කතෝලික සභාව පෙන්වා දෙන ලෙස උපවාසය යනු හුදෙක් ගොඩමසින් වැළකීම හා එක්වරුශීලය රැකීම පමණක් නොවේ. ඇසෙහි උපවාසය, සමෙහි උපවාසය, දිවෙහි උපවාසය, නාසයෙහි උපවාසය ලෙස එහි කාණ්ඩ ගණනාවක් ඇත. සැබෑ උපවාසය එක වරුවක් නොකා සිට ඊලග වරුවේ එයටත් සරිලන ලෙස දෙගුණයක් ආහාර ගැනීමවත්, කුකුල් මස්, ඌරු මස්; ගොඩමස් සේ සලකා ඒවා ආහාරයට නොගෙන; ඉස්සන්, දැල්ලන් වැනි ප්‍රණීත ආහාර ගැනීමවත්, බිත්තර නොකා කේක් කෑමවත් නොවේ.. එය අප අපවම රවටා ගැනීමකි..
අප කැමතිම දේ ජේසුස් වහන්සේගේ නාමයෙන් පරිත්‍යාග කිරීමට අපට හැකිනම්; එය වචන, නීති රීති, සම්ප්රදායන්ගෙන් ඔබ්බට ගියාවූ සැබෑ උපවාසයකි.
මේ කාලය තුළ නිතර සුවඳාලේපන වලින් වසාගෙන සිටි ඔබව, ලෝකයට දකින්න දෙන්න..
අනුන් ගැන ඔබ දෙඩූ ඕපාදූප වලින් බැහැර වන්න..
අහන්නට කැමතිම ගී තනු වලට පුංචි නිවාඩුවක් දෙන්න..
මෙතෙක් කල් ඔබේ ඇස ඔබට පෙන්වන දේ ඔබ බැලුවානම්, මේ කාලය තුළ ඔබට අවශ්‍ය දේ පෙන්වීමට ඇසට හුරු කරවන්න..
එය පුරුද්දක් වූ පසුව ඔබට ම දැනේවි වෙනසක්, අපූරු තෘප්තිමත් බවක්..
පාවුලු තුමා චතාරික කාලය නැතහොත් කොරොස්මය ලෙස හදුන්වන දින හතළිහක කාලය දකින්නේ ප්රසාදජනක කාලයක් ලෙසිනුයි. ඒ කාලය තුළ වත ඉරාගෙන නොව සිත ඉරා ගෙන නුඹේ දෙවි සමිදුන් වෙත හැරී ආ යුතු බව කියමින් ජොවෙල් දිවැසිවරයා සැබෑ මනස්තාපනයක අවශ්‍යතාවය පැහැදිලි කරන්නට උත්සහ ගනී. එසේ සිත ඉරා ගැනීමට පාපී බාවයෙන් අත්මිදිය යුතුය. ඒ සදහා මනුෂ්‍ය මට්ටමින් අප ශක්තිමත් නැත. ඒ නිසා අපගේ පාපයෙන් ගැළවීමට අප යාච්ඤාව තුළ ආත්මීය පෝෂණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී අතුරු ප්‍රතිඵලයක් ලෙස උපවාසයෙහි යෙදීමට අවශ්‍ය ආත්මීක ශක්තිය යාච්ඤාව මගින් ලැබෙන අතරම උපවාසය මගින් දන්දීම සදහා යමක් ඉතුරු කිරීමේ අවස්ථාව ද උදා වේ.
ඒ අනුව යාච්ඤාව, උපවාසය හා දන්දීම යනු අන්‍යෝන්‍ය වශයෙන් සංයෝජනය වූවකි. එම නිසා ජේසුස් වහන්සේ කොරොස්මය තවත් හුදෙක් මවාපාන පුහු ආටෝපයෙන් පිරුණු කාලයක් පමණක් කර නොගෙන යාච්ඤාව, උපවාසය හා දන්දීම තුළ ඇතුළාන්ත ප්‍රීතියක් අත්දකින්නට අපට ආරාධනා කරයි.
ඔබ උපවාස කරන බව හෝ යාච්ඤා කරන බව හෝ දන් දෙන බව ප්‍රසිද්ධ රහසක් නොවිය යුතුය. සැබවින්ම දකුණත දෙන දෙය වමතට හෝ නොදැනිය යුතුය. පියාණන් වහන්සේ රහසින් අප කරන සියල්ල දැක අපට වරප්‍රසාද දානය කරන සේක.
අපගේ පාපය නොව, පාපය පිළිබද හැඟීමක් නොමැතිවීම අප කරන මහා පාපයයි. ඒ නිසා ජීවිතය දෙස නැවත හැරී බැලිය යුතුය. ඒ සදහා තවත් එක් දින හතළිහක් පමණක් කර නොගෙන, අර්ථාන්විත පාස්කුවක් සමරන්නට මේ චතාරිකය තෝතැන්නක් කර ගනිමු.
ජේසු පිහිටයි!
#2021_චතාරික_සමය
සටහන - නිම්ශි ප්‍රනාන්දු

❤😌
ReplyDelete👍👍👍
ReplyDelete👍👍 best
ReplyDeleteBest
ReplyDeleteGood👍👍👍👍
ReplyDeleteනොදන්නා දෙයක් දැනගත්තා 👍
ReplyDeleteBest 👍
ReplyDeleteGreat
ReplyDeleteවැදගත් දෙයක් 💛🥂
ReplyDelete